මහනුවර - මහියංගනය මාර්ගය යළිත් තාවකාලිකව වසා දමයි
January 22, 2025 08:10 pm
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල ප්රදේශයෙන් මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවය.
ඒ අනුව, අද (22) පස්වරු 06 සිට හෙට (23) පෙරවරු 06දක්වා කාලය තුල මහනුවර මහියංගනය ප්රධාන මාර්ගය, මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර ඇත.
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කහටගොල්ල ප්රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පවතින බැවින් එය මෙම මාර්ගයේ රාත්රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතල අනතුරු ගෙන දිය හැකිය.
එබැවින් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.
ඒ අනුව විකල්ප මාර්ග ලෙස,
මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.
එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.